රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති E - ජනගහන වැඩසටහන යටතේ ඩිජිටල් ක්‍රමයට ජාතික උප්පැන්න සහතික නිකුත් කිරීමේ වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාරම්භක වැඩසටහන (07 ) දින වැලිගම ප්‍රාදේශීය ලේකම් නිරෝෂා මෙන්ඩිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි. 2021 වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට 2025.02.26 දින දක්වා, වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උපන් දරුවන්ට මෙම ජාතික උප්පැන්න සහතිකය ලබා ගැනීමේ පහසුකම පවතී.
මෙම ඩිජිටල් ජාතික උප්පැන්න සහතිකය සම්ප්‍රදායික කඩදාසි සහතිකයට වඩා නවීන, සුරක්ෂිත ලේඛනයකි. මකා වෙනස් කළ නොහැකි ලෙස තොරතුරු දත්ත පද්ධතියේ ගබඩාවීම මගින් ව්‍යාජ ලේඛන සකස් කිරීම අවම වේ. එමෙන්ම විදේශ ගමන් හා නීතිමය කටයුතු සඳහා ජාත්‍යන්තරමය වශයෙන් භාවිතයට වඩාත් සුදුසු වන අතර සිංහල හා ඉංග්‍රීසි හෝ දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා මගින් සහතිකය ලබා ගැනීමට හැකිවීම තුළින් උප්පැන්න සහතික වෙනම පරිවර්තනයන් සිදු කිරීමට අවශ්‍ය නොවේ. තවද උප්පැන්න සහතිකයේ කවර හෝ සංශෝධනයක් සිදු කළ විට එම තොරතුරු දත්ත පද්ධතියේ යාවත්කාලීන වේ.
එමෙන්ම මෙම ඩිජිටල් ජාතික උප්පැන්නය රජයේ අනෙකුත් ආයතන සමඟ විශේෂයෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමණ දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, අධිකරණ අමාත්‍යංශය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යංශය වැනි ආයතන සමඟ තොරතුරු හුවමාරු කර ගත හැකි ලෙස මනාව සම්බන්ධ කර ඇත.
අප්‍රේල් (07) දින සංකේතාත්මකව වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරු දැරියන් 20 දෙනෙකු වෙත ඩිජිටල් ජාතික උප්පැන්න සහතිකය ප්රදානය කරන ලදී. මෙම සහතිකයේ ප්‍රථම පිටපත නොමිලේ නිකුත් කරනු ලැබේ.
මෙම අවස්ථාවට වැලිගම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් ධනුෂ්ක රාමනායක, චන්දිමා ගුණරත්න ඇතුළු වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරී මහත්ම මහත්මීන් පිරිසක් සහ සහතිකපත් ලබාගත් දරු දැරියන්ගේ පවුල්වල පිරිස් සහභාගී වූහ.
එමෙන්ම මෙයට සමඟාමීව මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන)කුසලක නානායක්කාර මහතා සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් විසින් වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි කටයුතු පුළුල් කරමින් ජනතාවට වඩාත් පහසුවන ලෙස සේවාවන් ලබාදීමට අදාලව සාකච්ඡාවකද නිරත විය.























